IMG 20240619 WA0006

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය, ශ්‍රි ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව හා ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශවකාර ආයතන සමඟ එක්ව, රිය අනතුරු වලට ලක්වන තුන්වන පාර්ශවීය වින්දිතයන්ට හෝ ඔවුන්ගේ නීත්යානුකූල උරුමකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව, කඩිනමින් වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

2024 මාර්තු 01 වනදා ආරම්භ කළ එම වැඩපිළිවෙල යටතේ මෝටර් වාහන අනතුරකින් මරණයට හෝ ස්ථිර අබලතාවයකට පත්වන වින්දිතයන්ට හෝ ඔවුනගේ නීත්යානුකූල උරුමකරුවන්ට අදාල අනතුර සිදුකළ මෝටර් වාහනය රක්ෂණය කර ඇති රක්ෂණ ආයතනය විසින් වන්දි මුදල් ලබාදීම සිදු කරයි. මේ යටතේ වින්දිතයෙකුගේ මරණයකදී රු. ලක්ෂ 5ක්ද, ස්ථිර අබලතාවයකදී රු. ලක්ෂ 5ක උපරිමයක් දක්වාද වන්දි ලබාදෙනු ලැබේ. මෙහිදී වින්දිතයා මියගිය අවස්ථාවක හෝ පූර්ණ දුබලතාවයකට පත්වූ විට, වින්දිතයා විවාහක නම්, ඔහුගේ/ඇයගේ කලත්‍රයාට හෝ කලත්‍රයා මිය ගොස් ඇත්නම් බාලවයස්කාර දරුවන්ට ද, වින්දිතයා අවිවාහක නම්, ඔහුගේ/ඇයගේ දෙමව්පියන්ට ද මෙම වන්දිය ලබා ගැනීමේ හැකියාව පවතී.

වන්දි ලබාගැනීමේ අයදුම්පත අදාළ මරණය හෝ පූර්ණ අබලතා තත්වයට පත්වී මාස 06ක් ඇතුලත අනතුර සිදුකළ වාහනය රක්ෂණය කර ඇති රක්ෂණ සමාගම වෙත යොමුකළ යුතුය. තවද මෙම වන්දි ලබාගැනීම සඳහා, අදාළ අනතුර සිදුකල මෝටර් වාහනය සඳහා වලංගු තුන්වන පාර්ශවීය මෝටර් රථ රක්ෂණයක් තිබීමත් එම රක්ෂණ සමාගම ශ්‍රි ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්ෂණ ආයතනයක් වීමත් අනිවාර්ය වේ.

මේ ආකාරයෙන් කඩිනම් වන්දි ලබාදීමේ ක්‍රමවේදය, 2024 මාර්තු මස 01 දා සිට ඉදිරියට පමණක් ක්‍රියාත්මක වන අතර එම දිනට පෙර සිදුවූ අනතුරු වෙනුවෙන් මෙම නීතිය බලපවත්වනු නොලැබේ. තවද මේ ආකාරයෙන් ලබාගත් වන්දි මුදල් ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී, වින්දිතයාට හෝ නීත්යාලනුකූල උරුමකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමුවීමට මේ යටතේ කිසිඳු බාධාවක් නොමැත.

මේ පිළිබඳ වැඩි විස්තර හා අයදුම්පත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ www.transport.gov.lk, ශ්‍රි ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ www.ircsl.gov.lk සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ www.roadsafety.gov.lk යන වෙබ් අඩවි වලින් ලබා ගත හැක.

මීට අදාල චක්‍රලේඛය පහත සබැඳිය මගින් බාගත කළ හැක.

මෝටර් වාහන අනතුරු මගින් තුන්වන පාර්ශවීය වින්දිතයන්ට සිදුවන මරණ හෝ ස්ථිර අබලතා සඳහා වන්දි ලබා ගත හැකි විකල්ප ක්‍රමවේදය