IMG 20240229 WA0012

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනය, සිය සේවාලාභීන් සදහා සියලුම සේවාවන් ලබාදීමේ අදාල දිනයන් හා වේලාවන් වෙන්කර ගැනීම් ඩිජිටල්කරණය කරයි.

ඒ අනුව 2024 මාර්තු 04 දින සිට සිය සේවාලාභීන්හට අදාල ආයතන වෙත නොගොස්, ස්වයංක්‍රීය දුරකතන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සඳහා  සේවා ස්ථානය,  දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත හැකි බව, 2024 ‍පෙබරවාරි 29 පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනය මෙම ඩිජිටල්කරණය කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු රංජිත් ගංගානාත් රූබසිංහ, අමාත්‍යාංශ අතිරේක ලේකම් තුෂාර සුරවීර, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න යන මහත්වරුන් සහභාගී වූහ.

රජයට අදායම් ලබාදෙන ප්‍රධානතම ආයතන යටතට ගැනෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජාතික ආර්ථිකයට සපයන දායකත්ව අති විශාල වේ. එසේම එතුළින් දෛනිකව රියදුරු බලපත් ලබාගැනීම, වාහන ලියාපදිංචිය වැනි අවශ්‍යතා සපුරා ගන්නා සේවාදායක ප්‍රමාණයද අතිවිශාල වේ. මෙවැනි ආයතනයක් තුල පවතින අධික තදබදයට ස්ථිරසාර විසඳුමක් වශයෙන්, දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලම පිහිටා ඇති ශාඛා කාර්යාලද ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය යටතේ, ඉතාමත් කාර්යක්ෂම, ඵලදායී මෙන්ම වඩාත් විනිවිදභාවයෙන් යුත් සේවයක් ලබාගැනීමට සේවාදායකයින්ට අවස්ථාව සැලසෙනු ඇත.

ඒ අනුව  ස්වයංක්‍රීය දුරකථන අංක 011 2117116 යටතේ භාෂා ත්‍රිත්වයෙන්ම මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති අතර ඊට අමතරව www.dmtappoinments.dmt.gov.lk වෙබ් අඩවිය තුළින්ද සේවාදායකයින්හට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට හැක.

මීට සමගාමීව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වේරහැර ශාඛාවේදීද රියදුරු බලපත්‍රයට අවශ්‍යවන වෛද්‍ය සහතිකය ලබාගැනීමේදී ඇතිවන අපහසුතා මගහරවා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබාගැනීමට 2024 මාර්තු මස 04 දින සිට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව e -channeling පහසුකම් යටතේ ඕනෑම ජංගම දුරකතනයක් මගින් 225 හෝ SLT ස්ථාවර දුරකතන මගින් 1225 ඇමතීම තුළින් හෝ e channeling ජංගම යෙදවුම හෝ වෙබ් අඩවිය හෝ www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීම මගින් වෛද්‍ය සහතික ලබාගැනීම සඳහාද  දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ පහසුකම් සේවාලාභීන්ට සලසා තිබේ.

මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමගින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ  වේරහැර ශාඛාවේ සියලුම වෛද්‍ය සහතික අයදුම් කිරීමේ කටයුතු මෙම ආකාරයට පමණක් ක්‍රියාත්මක වනු ඇත.

 

IMG 20240226 WA0036

දිනෙන් දින වර්ධනය වන අලි - දුම්රිය ගැටළුවට විසඳුමක් වශයෙන්, ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මර්ගයේ ඉදිකිරීම් කටයුතු,ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ,  2024 මාර්තු මස 01 දින ගල්ගමුව,ගැටදිවුල, කාසිකොටේදී ආරම්භ වේ.

දුම්රියන්හි හැපී මියයන අලි ඇතුන් සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය වන අතර, එය ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමුවී ඇති පාරිසරික සහ සංවර්ධන ගැටළුවක් බවට පත්ව තිබේ. ඒ සඳහා විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන පාර්ශව ගණනාවක් දීර්ඝ කාලයක් පුරාවට විසඳුම් ‍රැසක් යෝජනා කර ක්‍රියාත්මක කර ඇති නමුත්,  දුම්රියන්හි අලි ඇතුන් ගැටීම වළක්වා ගැනීමට රටක් වශයෙන් තවමත් අප උත්සහ කරමින් සිටියි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, "සුරකිමු දුම්රිය" ජාතික ව්‍යාපාරය ඇතුළු ආයතන සහ සංවිධාන සමඟ සාකච්ඡා පවත්වමින් මේ පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනය කර,"සුරකිමු ශ්‍රී ලංකා" සංවිධානය අලි - දුම්රිය ගැ‍ටුම් වැළැක්වීම උදෙසා යෝජනා ‍රැසක් රජයට ඉදිරිපත් කරන ලදි. ඒ අතුරින් ප්‍රධාන යෝජනාවක් වූයේ, පසුගිය වසර කිහිපය තුල දුම්රියන්හි ගැටීම නිසා වැඩිම වන අලි ප්‍රමාණයක් මිය ගිය සහ වන අලි 150-200 ත් අතර ප්‍රමාණයක් නිරන්තරයෙන් දුම්රිය මාර්ගය ආශ්‍රිතව සැරිසරන, අඹන්පොල හා ගල්ගමුව දුම්රිය ස්ථාන අතර පිහිටි කාසිකොටේ, ගැටදිවුල යන ස්ථානයේ දුම්රිය මාර්ගයට යටින් වනජීවී උමං මාර්ගයක් ඉදිකර දෙන ලෙස වූ යෝජනාවය.එහිදී එම ස්ථානයට නුදුරින් පවතින පැරණි බෝක්කුවක් වනජීවී උමං මාර්ගයක් වශයෙන් සංවර්ධනය කිරීමට යෝජනා වුවද එහි පවතින තාක්ෂණික ගැටළු කිහිපයක් නිසා අලිමංකඩ ස්ථානයේ නව වනජීවි උමඟක් ඉදිකිරීමට යෝජනා විය.

ඒ අනුව එහිදී අලි - දුම්රිය ගැටුම වළකන ජාතික ක්‍රියාන්විතයේ පළමු පියවර වශයෙන් යෝජිත වනජීවී උමං මාර්ගය ඉන්දියානු ණය ආධාර යටතේ සිදු කෙරෙන මහව - ඕමන්තේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර එම තීරණය ක්‍රියාවට නැංවීම  සඳහා අවශ්‍ය  කටයුතු සම්පාදනය කරන ලදී. වන අලි 200කගේ පමණ ජීවිත සුරක්ෂිත කෙරෙන මෙම කටයුත්ත ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ගන්නා ලද ප්‍රශංසනීය පියවරකි. ඊට අමතරව දුම්රිය අනතුරු වළක්වා, දුම්රිය දේපළ ආරක්ෂා කර ගැනීමටත්, දුම්රිය මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මෙම ව්‍යාපෘතිය විශාල දායකත්වයක් ලබාදෙයි.

මෙම ජාතික ක්‍රියාන්විතයේ සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා, අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු රංජිත් ගංගානාත් රුබසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධිත ආයතනයන්හි ජ්‍යේෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගී විමට නියමිතය.

IMG 20240220 WA0012

"හරිත හෙටක්" තේමාව යටතේ, පරිසර හානිය අවම කරගනිමින්, වැඩිවන ඉන්ධන භාවිතය සීමා කරගැනීමේ අරමුණෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන ආයතනය හා එක්ව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ත්‍රී රෝද රථ විද්යුත්කරණ නියමු ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ.

පසුගිය පෙබරවාරි 19 වන දින ප්‍රවාහන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේදී පැවති මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදාළ ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි පියවර පිළිබදව එහි පාර්ශවකරුවන් දැනුවත් කිරීම සිදුකරන ලදී.
මෙම ව්‍යාපෘතියේදී දැනට ඉන්ධන මගින් ධාවනය වන ත්‍රීරෝද රථ විදුලියට පරිවර්ථනය කිරීමට කටයුතු කරන අතර එම ක්‍රියාවලියේදී අදාළ තාක්ෂණික, මෙහෙයුම් හා ප්‍රායෝගික තත්ත්වය පිළිබඳව සියලු පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම හා සාකච්ඡා කිරීම මෙහිදී සිදුවිය.

දැනට මෙරට තුළ ත්‍රී රෝද රථ 1,184,423 ක් ලියාපදිංචි වී ඇති අතර ඉදිරියේදී අනුමත කිරීමට නියමිත විද්යුත් සංචරණ (e –mobility) ප්‍රතිපත්තියට අදාළව විද්ත් වාහන ලියාපදිංචිය හා භාවිතය ප්‍රචලිත කිරීමේ මූලික කටයුත්තක් ලෙස මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ නිලධාරීන් පවසයි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු රංජිත් ගංගානාත් රූබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රි ලංකා නියෝජිත අසූසා කුබෝටා මහත්මිය ඇතුළු නියෝජිත පිරිස, කර්මාන්ත අමාත්‍යංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය මෙන්ම රාජ්‍ය සහ පුද්ගලික බැංකුකරුවන්ද, දැනට ලංකාවේ විදුලි ත්‍රී රෝද රථ නිෂ්පාදනය කරන හා එකලස් කිරීම් සිදුකරන පුද්ගලික ආයතන සමග ත්‍රී රෝද රථ සංගම්වල නියෝජිතයන්ද, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ජේයෂ්ඨ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

සාකච්ඡාවට සමගාමීව මෙලෙස විදුලියට පරිවර්ථනය කරන ලද ත්‍රී රෝද රථ කිහිපයක් පරීක්ෂා කිරීමද මෙහිදී අදාළ නිලධාරීන් විසින් සිදුකරන ලදී.

IMG 20240220 WA0009

දිනපතා කොට්ටාව- මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය භාවිතා කරන,12,000ක් පමණ මහජනතාවට අවසාන සැතපුම් සම්බන්ධතාවය පහසු කිරීම සඳහා, පුද්ගලික අංශයේ කුලී රථ සේවා සපයන්නෙකු වන Pick-Me සමඟ සහයෝගීව ක්‍රියාත්මක වන කුලී රථ සේවාවක් තවත් ප්‍රවාහන මාධ්‍යයක් එක් කරන ලදී.මගීන්ට වඩා හොඳ සේවාවක් ලබා දීම සඳහා මෙම අවසාන සැතපුම් සම්බන්ධතා සංකල්පය සමඟ සම්බන්ධ වන ලෙස අනෙකුත් කුලී රථ සේවා සපයන්නන්ට ආරාධනා කරන ලදී. මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් සහ චාරිත්‍රානූකූලව 2024 පෙබරවාරි 20 වන දින දියත් කරන ලදී. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, දේශීය සේවා සපයන්නන් මෙම සේවාව සමඟින් ගෙන ඒම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළා පමණක් නොව, මෙම අවස්ථාවට ගෞරවනීය ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අමාත්‍යංශ ලේකම් ඉංජි. රංජිත් ගංගානාත් රූබසිංහ සමඟ සහභාගී විය.

බහුවිධ මධ්‍යස්ථානයක මෙහෙයුම් අරමුණු සහ ක්‍රියාපටිපාටි ස්වාධීනව ක්‍රියාත්මක වන අනෙකුත් ප්‍රවාහන සේවා සපයන ස්ථාන වලට වඩා වෙනස් වීම නිසා මගීන් සඳහා අවසාන සැතපුම සඳහා සම්බන්ධතාව සැපයීම ප්‍රමුඛතාවය ලෙස සැලකේ. පුද්ගලික අංශය සහ දේශීය ත්‍රීරෝද රථ සංගමයක් සමඟ මෙහෙයුම් සඳහා සේවා විවෘත කරන තෙක් අවසන් සැතපුම් සම්බන්ධතාවය කොට්ටාව- මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැතිව තනි තනිව ක්‍රියාත්මක වන සේවාවන්ගෙන් ලබා ගන්නා ලදී. මෙම මුලපිරීමත් සමඟ, ඔවුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා මධ්‍යස්ථානය භාවිතා කරන මගීන්ට මෙම බහුවිධ මධ්‍යස්ථානය වෙත පැමිණි පසු විශ්වාසදායක සහ ආරක්ෂිත සේවාවක් භුක්ති විඳිය හැකිය.

කුලී රථයේ සහ රියදුරුගේ තොරතුරු තිරයක් මත ප්‍රදර්ශනය කිරීමෙන් උසස් තාක්ෂණයෙන් සේවාවේ ගුණාත්මකභාවය සහතික කර ඇති අතර QR කේතයක් හරහා එම තොරතුරු මගියාගේ පුද්ගලික දුරකථනයට ලබා ගැනීමේ විකල්පය ද සමඟින් ප්‍රදර්ශනය කෙරේ.සේවා වෙන්කරවා ගැනීම මූලික වශයෙන් යෙදුම පදනම් වී ඇත්තේ තාක්ෂිණ ලෝලීන්ගේ පහසුව සඳහා වන අතර දුරකථන යෙදුම් පහසුකමට ප්‍රවේශය නොමැති පාරිභෝගිකයින් අත්නොහැරීම සඳහා ස්ථානීය වෙන්කිරීම් කවුන්ටරයක් ස්ථාපිතකර ඇත.

ත්‍රීරෝද රථ සහ මෝටර් කුලී රථ වෙන්කරවා ගැනීමට අමතරව, අඩු වියදම් සහ පරිසර හිතකාමී විකල්පයක් වන විදුලි බයිසිකල් වෙන්කරවාගත හැකි අතර එම සේවාව තුලින්ම වෙන්කරවා ගැනීමේ හැකියාවද පවතී.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන), තුෂාර සුරවීර මහතා, මහ කොළඹ නාගරික ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ, නාලක දිසානායක මහතා, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ශෂී වෙල්ගම මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. මෙම අවස්ථාවට සහභාගීවූ ආරාධිතයෝ කොට්ටාව- මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානය වෙත පැමිණෙන මගීන්ට සේවය කිරීම සඳහා බහුවිධ මධ්‍යස්ථානයෙන් ආරම්භ වූ නව කුලී රථ සේවාවේ ප්‍රතිලාභ පිළිබඳ ප්‍රසාදය පල කරන ලදි.

 

WhatsApp Image 2024 02 18 at 15.59.40

බදුල්ල දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන සේවාවන් පිළිබඳ නිරීක්ෂණය සඳහා එම ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වූ ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ පැවති විවෘත කිරීමේ උත්සවයකින් අනතුරුව විශේෂ නිරීක්ෂණ දුම්රියකින් බණ්ඩාරවෙල සිට ඇල්ල හරහා දෙමෝදර දක්වා දුම්රිය මාර්ගයේ නිරීක්ෂණයකට එක් විය.

එහිදී එම ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිසි ආකාරයෙන් කළමනාකරණය කරමින් ඵලදායී ලෙස ආයෝජන අවස්ථාවන් සඳහා යොදා ගැනීම පිළිබඳව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය.

එමෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයක් හිමිවන ඇල්ල ආරුක්කු නවයේ පාලම ආශ්‍රිත සංචාරක ප්‍රදේශය තුළ සංචාරකයින් මුහුණ දෙන ගැටළු සහ එහි පහසුකම් වැඩි දියුණු කිරීම තුළින් වැඩි ආකර්ෂණයක් ලබා ගැනීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළ අතර එහි සංචාරයට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් සමඟ සුවඳ කතාබහකද නිරත විය.

එමෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ සුවිශේෂී පිහිටීමක් වන දෙමෝදර දුම්රිය ස්ථානය සහ එම දුම්රිය මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා ඇති දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉපැරණි නිල නිවාස සහ ගරා වැටී ඇති ගොඩනැගිලි පිහිටි ස්ථාන පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව සංවර්ධනය කර සංචාරක ව්‍යාපාරයට ගැලපෙන ආකාරයේ ආයෝජන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමේ වැදගත්කම ද අමාත්‍යවරයා නිලධාරී වෙත පෙන්වා දුන්නේය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් රූබසිංහ මහතා,දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ ඩබ්.බණ්ඩාර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් ) වී. එස්. පොල්වත්තගේ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක් විය.