15

පෞද්ගලික බස්රථ සංගම් ප්‍රධානීන් සමග පෞද්ගලික බස් රථ කර්මාන්තය වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමන්ගේ සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී 2021-02-23 දින පැවැත්විණි .

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග ,ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් අල්විස් ,ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්වරුන් ද පෞද්ගලික බස් රථ සංගම් ප්‍රධානීන් ද සහභාගි වූහ.

 

19

දුම්රිය රියදුරු නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් 2021/02/22 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනය අත්හිටවා ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡාවක ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා සමඟ  2021-02-23 ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවැත්වූහ

 

 

 

MOT 8155 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ හෝමාගම සිට කොළඹ කොටුව දක්වා නව කාර්යාල දුම්රියක් දැනට ධාවනය වන දුම්රියට අමතරව ධාවනයට එක් කෙරේ..
හෝමාගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන නව කාර්යාල දුම්රියක් 2021-02-05 දින සිට ධාවනයට එක්වනු ඇත. හෝමාගම දුම්රිය ස්ථානයෙන් පෙරවරු 07.00 ගමන් ආරම්භ කරන මෙම දුම්රිය ප.ව. 6.10 ට කොළඹ කොටුවේ සිට හෝමාගම දක්වා ධාවනය කෙරේ.
හෝමාගමින් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය මන්දගාමී දුම්රියක් ලෙස ධාවනය වන අතර එස්. 08 වර්ගයේ මැදිරි 05 කින් සමන්විත බලවේග දුම්රියකි. ධාවනයෙන් ඉවත්කල බලවේග කට්ටල මැදිරි දේශීය සමාගමක් විසින් නැවත ප්‍රතිසංස්කරණය කර මෙලෙස මෙම දුම්රිය ධාවනයට එක් කර ඇත.
පෙ.ව.7.00 හෝමාගම දුම්රිය ස්ථානයෙන් මෙම නව දුම්රිය ධාවනය ආරම්භ කිරීමත් සමග පෙ.ව 6.10 ට කොස්ගමින් ගමන් ආරම්භ කරනු ලබන දුම්රිය පෙ.ව 6.20 ලෙසත් පෙරවරු 7.15 ට හෝමාගමින් ගමන් ආරම්භ කරන දුම්රිය පෙ.ව 7.42 ලෙසත් වේලාව සංශෝධනය වනු ඇත.
මෙම මාර්ගයේ නුගේගොඩ සිට මහරගම දක්වා නවීන සංඥා පද්ධතියක් ස්ථාපිත කර ඇති අතර ඒ හේතුවෙන් මෙම මාර්ගයේ දුම්රිය ධාවනය සංඥා අවහිරතා වලින් තොරව සෑම විනාඩි 04 කට වරක්ම දුම්රියක් ධාවනය කිරීමේ හැකියාව ලැබී ඇත.
මෙම ව්‍යාපෘතියේ මහරගම දුම්රිය ස්ථානයේ නවීන සංඥා පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා රු.මිලියන 15 ක මුදලක් සහ නුගේගොඩ සිට මහරගම දක්වා සංඥා පද්ධතිය අලුතින් සවිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 20 ක පමණ මුදලක් වැයවී ඇත.
මෙම දුම්රිය ධාවනය ආරම්භ කිරිමේ සාමාරම්භක අවස්ථාවට සහභාගී වු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා ප්‍රකාශ කර සිටියේ ධාවනයෙන් ඉවත් කර තිබු දුම්රිය මැදිරි දේශීය සමාගමක් විසින් නැවත ප්‍රතිසංස්කරණය කර ධාවනයට එක් කිරිමට හැකි වීම තුලින් පිටතට ඇදි යන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි බවයි. මේ වන විට මේ අයුරින් දුම්රිය මැදිරි 200ක් පමණ අලුත් වැඩියා කර ධාවනයට එක් කල බවද අමාත්‍යවරයා සඳහන් කලේය.
අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම අනුව විදේශ විනිමය ඉතිරි කරගෙන දේශීයව ප්‍රතිසංස්කරණය කර මෙම දුම්රිය මැදිරි ධාවනය සඳහා යොදා ගෙන ඇත. අබලන් දුම්රිය මැදිරි ඉදිරියටත් අප රට තුලම නවීකරණය කිරිමට අපේක්ෂා කරන අතරම,ඉදිරියටත් තවත් දුම්රිය මැදිරි 100ක් ඒ අයුරින් ප්‍රතිසංස්කරණය කිරිමට කටයුතු කරන බවද අමාත්‍යතුමා පැවසීය.
එමෙන්ම කැළණිවැලි දුම්රිය මාර්ගයේ දිනකට දුම්රිය මගීන් 15000 ක පමණ ප්‍රමාණයක් ගමන් ගන්නා බවත් ඉදිරියේදි මෙම පිරිස 30,000 දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවද ප්‍රකාශ කලේය. මේ තුලින් දුම්රිය මගීන්ට නියමිත වේලාවට දෛනික රාජකාරි කටයුතු සදහා කාර්යාල වෙත ගමන් කිරිමටත් කෙටි කාල සීමාවකින් හා අඩු වියදමකින් ගමනාන්තය වෙත ලඟාවීමට හැකි වන බව අමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කලේය. අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ 2020-02-05 දින හෝමාගම සිට ආරම්භ කෙරුණු දුම්රියෙන් මාලපල්ල (මාකුඹුර) දක්වා පැමිණීමෙන් අනතුරුව එම ස්ථානයේ පැවති රැස්වීමක දී ය.
මෙම අවස්ථාවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන බස්නාහිර හිටපු පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද සහභාගි වි සිටියේය.

 

 

3A5A0066 copy

කොවිඩ් වංසගතය නිසා ආර්ථික වශයෙන් දුෂ්කරතාවයට පත් වූ පෞද්ගලික බස්රථ හිමියන්ට තමන්ගේ බස්රථ මාස ගණනාවක් ධාවනය නොකිරීම නිසා නඩත්තු හා අළුත්වැඩියා කටයුතු කර ගැනීමට නොහැකි වීමෙන් අසීරුතාවයට පත් වී ඇත.

මේ තත්ත්වය හමුවේ පෞද්ගලික බස්රථ හිමියන් හා පොදුවේ බස්රථ හිමියන් විසින් රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රවාහන අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පළාත්බද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග එක්ව රාජ්‍ය බැංකු හරහා පෞද්ගලික බස්රථ හිමියන්ට රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් හා ටිකට්පත් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා තවත් රු. 50000 ක මුදලක් ඉහත වැඩ සටහන යටතේ ලබාදීමට අවශ්‍ය කටයුතු අද 2021-02-15 දින ක්‍රියාවට නැඟුණි.

මේ යටතේ සංකේතාත්මකව පෞද්ගලික බස්රථ හිමියන් 27 දෙනෙකුට එම ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය ණය ප්‍රදාන ලිපි ලබාදීම අද දින ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

මෙහිදී අදහස් දැක්වු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා, පෞද්ගලික බස්රථ හිමියන් මුහුණ පා සිටින දුෂ්කරතාවයන් පිළිබඳව රජය ඉතා හොඳ අවබෝධයකින් සිටින අතර එම දුෂ්තරතාවයක් මඟ හරවා ගැනීම සඳහා මෙම ණය මුදල් ලබා දීමට ලංකා බැංකුව හා මහජන බැංකුව ඉදිරිපත් වීම පිළිබඳව එම ආයතන වෙත සිය ප්‍රශංසාව පල කර සිටියේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත පෞද්ගලික බස් කර්මාන්තය කඩා නොවැටී පවත්වාගෙන යාම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමටත්, මගී ජනතාවට අපහසුවෙන් තොරව සුව පහසු ප්‍රවාහන සේවාවක් ලබා දීමත් රජයේ මූලික අරමුණ බව අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග ලංකා බැංකු හා මහජන බැංකු නියෝජිතයන් මෙම ණය නිකුත් කිරීම පිළිබඳව ගිවිසුම් අත්සන් කිරීමද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම, පොදුජන පෞද්ගලික බස් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති සම්පත් රණසිංහ ඇතුළු පෞද්ගලික බස්රථ හිමියන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

 

DSC 0229

DSC 0229ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් භාවිතයෙන් ඉවත්කරනු ලැබු දුම්රිය මැදිරි 200ක් නැවත ප්‍රතිසංස්කරණය කොට ධාවනයට එක් කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුමේනියානු මැදිරි 140ක් හා S8 බලවේග කට්ටල 60ක් ප්‍රතිසංස්කරණයට ලක් කෙරේ.
මෙම ව්‍යාපෘතියේ මුලු ඇස්තමේන්තු වියදම රුපියල් මිලයන 2388කි. එක් මැදිරියක් සදහා ඇස්තමේන්තු ගත මුදල ලෙස රුමේනියානු මැදිරියක් සඳහා රුපියල් මිලියන 13.1 හා S8 බලවේග කට්ටල මැදිරියක් සඳහා රුපියල් මිලියන 9.1ක් ද වේ.
මේ වන විට අලුත්වැඩියාවන් සිදුකර රුමේනියානු මැදිරි 138ක් හා S8 මැදිරි 52ක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. ඉතිරි මැදිරි මේ වර්ෂයේ මැයි 15 දිනට ප්‍රථමව අලුත්වැඩියාවන් සිදු කොට දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය තුලින් විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට රජයට හැකිවී තිබෙන අතර මෙම දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණයට අදාල ක්‍ෂේත්‍රයේ විශාල දියුණුවක්ද මේ තුලින් සැලසී ඇත. වර්තමානයේ නව ඉන්දියානු මැදිරියක් ආනයනය කිරිමට රුපියල් මිලියන 91 අධික මුදලක් වැය වන අතර චීන බලවේග කට්ටල මැදිරියක් ආනයනය කිරීමට රු.මිලියන 131ක පමණ මුදලක් වැය කිරිමට සිදු වේ.
එහෙයින් මේ යටතේ විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට රජයට හැකියාව ලැබි තිබේ. දේශීය කාර්මිකයින් හා ඉංජිනේරුවන් යොදා ගනිමින් අලුත්වැඩියාවන් සිදු කරනු ලබන මෙම ආයතනය දේශීය ආයතනයක් වීමද මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයකි.
මෙම ව්‍යාපෘතියේ කටයුතු සොයාබැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අංගනයට ගොස් මෙම ව්‍යාපෘතියේ කටයුතු සොයාබැලූ අතර ඉදිරියේදී තවත් දුම්රිය මැදිරි 100 ක් මේ අයුරින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින් එම කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු තන්ත්‍රී සමාගමේ සභාපති අතුල හපුතන්ත්‍රි යන මහත්වරුන් සහභාගී වුහ.

 

නවතම පුවත්