IMG 20240229 WA0012

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනය, සිය සේවාලාභීන් සදහා සියලුම සේවාවන් ලබාදීමේ අදාල දිනයන් හා වේලාවන් වෙන්කර ගැනීම් ඩිජිටල්කරණය කරයි.

ඒ අනුව 2024 මාර්තු 04 දින සිට සිය සේවාලාභීන්හට අදාල ආයතන වෙත නොගොස්, ස්වයංක්‍රීය දුරකතන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සඳහා  සේවා ස්ථානය,  දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත හැකි බව, 2024 ‍පෙබරවාරි 29 පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනය මෙම ඩිජිටල්කරණය කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු රංජිත් ගංගානාත් රූබසිංහ, අමාත්‍යාංශ අතිරේක ලේකම් තුෂාර සුරවීර, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති දර්ශන අබේරත්න යන මහත්වරුන් සහභාගී වූහ.

රජයට අදායම් ලබාදෙන ප්‍රධානතම ආයතන යටතට ගැනෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජාතික ආර්ථිකයට සපයන දායකත්ව අති විශාල වේ. එසේම එතුළින් දෛනිකව රියදුරු බලපත් ලබාගැනීම, වාහන ලියාපදිංචිය වැනි අවශ්‍යතා සපුරා ගන්නා සේවාදායක ප්‍රමාණයද අතිවිශාල වේ. මෙවැනි ආයතනයක් තුල පවතින අධික තදබදයට ස්ථිරසාර විසඳුමක් වශයෙන්, දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලම පිහිටා ඇති ශාඛා කාර්යාලද ආවරණය වන පරිද්දෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය යටතේ, ඉතාමත් කාර්යක්ෂම, ඵලදායී මෙන්ම වඩාත් විනිවිදභාවයෙන් යුත් සේවයක් ලබාගැනීමට සේවාදායකයින්ට අවස්ථාව සැලසෙනු ඇත.

ඒ අනුව  ස්වයංක්‍රීය දුරකථන අංක 011 2117116 යටතේ භාෂා ත්‍රිත්වයෙන්ම මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති අතර ඊට අමතරව www.dmtappoinments.dmt.gov.lk වෙබ් අඩවිය තුළින්ද සේවාදායකයින්හට දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමට හැක.

මීට සමගාමීව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වේරහැර ශාඛාවේදීද රියදුරු බලපත්‍රයට අවශ්‍යවන වෛද්‍ය සහතිකය ලබාගැනීමේදී ඇතිවන අපහසුතා මගහරවා කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් ලබාගැනීමට 2024 මාර්තු මස 04 දින සිට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව e -channeling පහසුකම් යටතේ ඕනෑම ජංගම දුරකතනයක් මගින් 225 හෝ SLT ස්ථාවර දුරකතන මගින් 1225 ඇමතීම තුළින් හෝ e channeling ජංගම යෙදවුම හෝ වෙබ් අඩවිය හෝ www.ntmi.lk වෙබ් අඩවියට පිවිසීම මගින් වෛද්‍ය සහතික ලබාගැනීම සඳහාද  දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ පහසුකම් සේවාලාභීන්ට සලසා තිබේ.

මෙම ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමගින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ  වේරහැර ශාඛාවේ සියලුම වෛද්‍ය සහතික අයදුම් කිරීමේ කටයුතු මෙම ආකාරයට පමණක් ක්‍රියාත්මක වනු ඇත.

 

නවතම පුවත්