WhatsApp Image 2024 02 18 at 15.59.40

බදුල්ල දිස්ත්‍රික්කයේ පොදු ප්‍රවාහන සේවාවන් පිළිබඳ නිරීක්ෂණය සඳහා එම ප්‍රදේශයේ නිල සංචාරයක නිරත වූ ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ පැවති විවෘත කිරීමේ උත්සවයකින් අනතුරුව විශේෂ නිරීක්ෂණ දුම්රියකින් බණ්ඩාරවෙල සිට ඇල්ල හරහා දෙමෝදර දක්වා දුම්රිය මාර්ගයේ නිරීක්ෂණයකට එක් විය.

එහිදී එම ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිසි ආකාරයෙන් කළමනාකරණය කරමින් ඵලදායී ලෙස ආයෝජන අවස්ථාවන් සඳහා යොදා ගැනීම පිළිබඳව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය.

එමෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ ආකර්ෂණයක් හිමිවන ඇල්ල ආරුක්කු නවයේ පාලම ආශ්‍රිත සංචාරක ප්‍රදේශය තුළ සංචාරකයින් මුහුණ දෙන ගැටළු සහ එහි පහසුකම් වැඩි දියුණු කිරීම තුළින් වැඩි ආකර්ෂණයක් ලබා ගැනීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළ අතර එහි සංචාරයට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් සමඟ සුවඳ කතාබහකද නිරත විය.

එමෙන්ම උඩරට දුම්රිය මාර්ගයේ සුවිශේෂී පිහිටීමක් වන දෙමෝදර දුම්රිය ස්ථානය සහ එම දුම්රිය මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටා ඇති දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉපැරණි නිල නිවාස සහ ගරා වැටී ඇති ගොඩනැගිලි පිහිටි ස්ථාන පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව සංවර්ධනය කර සංචාරක ව්‍යාපාරයට ගැලපෙන ආකාරයේ ආයෝජන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමේ වැදගත්කම ද අමාත්‍යවරයා නිලධාරී වෙත පෙන්වා දුන්නේය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් රූබසිංහ මහතා,දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ ඩබ්.බණ්ඩාර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් ) වී. එස්. පොල්වත්තගේ මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක් විය.