WhatsApp Image 2024 02 18 at 12.39.33

"ඊශ්‍රායලයේ අති දියුණු නවෝත්පාදන තාක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අතිශයින් වැදගත්. "

මෙරට සංචාරයක නිරත ඊශ්‍රායල් ප්‍රවාහන සහ මාර්ග ආරක්ෂණ අමාත්‍ය මිරි රෙගේව් (Miri Regev) මහත්මිය සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය කාර්යාලයේදී සිදුවිය.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී දෙරටේ අමාත්‍යවරුන්ගේ අවධානය යොමුවිය.
විශේෂයෙන්ම ඊශ්‍රායලයේ ප්‍රවාහන, කෘෂිකාර්මික, කාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් උදෙසා භාවිතා කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් සහ දැනුම ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. එමෙන්ම ඊශ්‍රායලයේ අති දියුණු නවෝත්පාදන තාක්ෂණය ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අතිශයින් වැදගත් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ වන විටත් ශ්‍රී ලාංකිකයින් දස දහසකට අධික ප්‍රමාණයක් ඉතාමත් ඉහළ වැටුප් සහ දීමනා යටතේ වඩාත් සුරක්ෂිත, සුවපහසු වතාවරණයක් යටතේ එරටේ රැකියාවන්හි නිරත වන බවත්, ඉදිරියේදිත් මෙරට පුහුණු ශ්‍රමිකයන්ට එරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇතුළුව අනෙකුත් ක්ෂේත්‍රයන් හී පවතින රැකියා සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම පිළිබඳවද ඊශ්‍රායල් ප්‍රවාහන අමාත්‍යතුමිය මෙහිදී අදහස් පල කළේය.
සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනය වෙනුවෙන් ඉදිරියේදී ඊශ්‍රායලය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන සංචාරක ගුවන් සේවාවන්, නාවික ක්ෂේත්‍රයේ භාණ්ඩ ප්‍රවාහනය සහ නාවික ප්‍රවාහනයේ ආරක්ෂාවට සම්බන්ධ කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරුන් අතර අදහස් හුවමාරු විය.

ශ්‍රී ලංකාව සහ භූතානය සඳහා ඊශ්‍රායල තානාපති නාඕර් ගිලන් (Naor Gilon) මහතා, ඊශ්‍රායල් ප්‍රවාහන අමාත්‍යංශයේ යටිතල පහසුකම් හා සම්බන්ධීකරණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ අව්නේර් ෆ්ලෝර් (Avner Flor)මහතා, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා කොන්සල් දිනේෂ් රොඩ්රිගෝ මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් රූබසිංහ මහතා, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දර්ශිකා ජයසේකර මහත්මිය ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

නවතම පුවත්