FB IMG 1706843481843

ශ්‍රී ලංකා ගමනාකමට මණ්ඩලයේ අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයටයට අයත් භාවිතයෙන් ඉවත් කර තිබූ අධි සුඛෝපභෝගී බස් රථ 17ක් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කිරීම ප්‍රවාහන මහ මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් රත්මලාන පරිශ්‍රයේදී පුනරුත්ථාපනය කෙරුණු මෙම බස් රථ අලුත්වැඩියාවන් සඳහා වැය වී තිබෙන්නේ රුපියල් මිලියන දහයකට වඩා අඩු මුදලක් වීම විශේෂත්වයකි. මෙම එක් බස් රථයක් අධිවේගී මාර්ග තුළ ධාවනය කිරීම තුළින් දිනකට රුපියල් ලක්ෂයකට අධික ආදායමක් උපයා ගත හැකි වේ.
අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහතා විසින් අධීක්ෂණ නිලධාරී වශයෙන් ඉංජිනේරු කුශාන් වෑගොඩපොල මහතා පත් කර මෙම බස් රථ පුනරුත්ථාපනය කිරීම පිළිබඳ වගකීම පවරන ලදී. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසය වන විට මිලියන 19ක් වූ ආයතනයේ ආදායම මෙම ජනවාරි මාසය වන විට මිලියන 42 දක්වා වර්ධනය වී ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"අද දිනය ශ්‍රී ලංකාවේ කළමනාකරණ ක්ෂේත්‍රයට නව ආදර්ශයක් සහ අලුත් අගයක් එකතු කරන දිනයක්. කලක් තිස්සේ පැවති අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය තුළ දැවැන්ත කඩා වැටීමක් සිදුවී පැවතුනා. මේ තත්ත්වය මත ලංකා ගමනාගමන මණ්ඩලය වෙත මා නව සභාපතිවරයෙකු පත් කරනු ලැබුවේ වංචාව දුෂණය, අක්‍රමිකතාවය පිටුදැක ඵලදායී, කාර්යක්ෂම ලාබ ලබන ආයතනයක්‌ බවට පත් කිරීමේ වගකීම සමඟයි. 2025 වසරේදී නිසි ආකාරයෙන් මහජන සේවය සපයන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ ඉලක්කය ලබාදී තිබෙනවා.
මීට වසරකට පෙර මෙම ස්ථානයට අප පැමිණෙන විට පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව වෙනුවෙන් ගෙන්වන ලද ඉතාමත් වටිනාකමින් ඉහළ අධිසුඛෝපභෝගි මෙම බස්රථ කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි පරිදි ගාල් කර පැවතුනා. අමතර කොටස්, එන්ජින් ආදී යාන්ත්‍රික කොටස් හිඟය,විදේශ විනිමය හිඟය ආදී කරුණු සලකා බලමින් මෙම බස්රථ පුනරුත්තාපනය කිරීම සඳහා දේශීය හා විදේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල වෘත්තිකයෙකු වන කුෂාන් වෑගොඩපොළ මහතා වෙත එම වගකීම පවරනු ලැබුවා.පසුගිය වසරේ චීනයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ මෙම බස්රථ නිෂ්පාදන සමාගම සමග සාකච්ඡා කර මෙම බස් රථවලට අවශ්‍ය අමතර කොටස් අතරමැදියන්ගෙන් තොරව සෘජුවම සහනදායී මිලකට ලබා ගැනීම සඳහා සාකච්ඡාවක් නිරත වුණා.
එලෙස ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල සාර්ථකත්වයට පත්කරමින් මේ වන විට අධිවේගී මාර්ගයේ ධාවනය කළ හැකි මට්ටමට බස්රථ 17ක් පුනරුත්ථාපනය කිරීමට හැකියාව ලැබීම සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒ තුළින් ලක්ෂ දහසකට වඩා වටිනාකමින් යුතු බස්රථ ප්‍රමාණයක් රුපියල් මිලියන 100ක පමණ වියදමකින් ධාවනයට එක් කිරීමට ලැබීම ලංකා ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ අතිශය වැදගත් කඩ ඉමක් බවට පත් වනවා.
වර්තමානයේ මෙම අධි සුඛෝපභෝගී බස් රථයක වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 600කට වඩා අධික වනවා. එවැනි ඉහළ වටිනාමකමකින් යුතු මෙම බස්රථ මිලියන දහයක පමණ අවම පිරිවැයකින් අලුත් වැඩියා කිරීමට දායක වූ සියලු දෙනාට විෂය භාර අමාත්‍යවරයා ලෙස මාගේ ගෞරවය පිරිනමනවා. තවත් නොබෝ දිනකින් ලංගම සේවා ව්‍යවස්ථාව අවසන් කිරීමෙන් අනතුරුව පවත්වන සමුළුවේදී මීට දායක වූ සියලු දෙනාටම විශේෂ ඇගයීමක්‌ සිදු කිරීමටද අප පියවර ගන්නවා.
අවංක කැපවීමකින් කටයුතු කරන්නේ නම් වැටුණු රට ගොඩ ගැනීම සඳහා මෙලෙස ඉවත දමා ඇති රාජ්‍ය අංශය සතු වත්කම් රාශියක් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය ශක්තිය සහ හැකියාව සහිත වෘත්තිකයින්, කාර්මිකයින් අපේ රට තුළ සිටිනවා. ඔවුන්ට ඒ සඳහා අවස්ථාවක් සහ නිවැරදි මගපෙන්වීමක් සිදුකිරීම තුළින් අම්බලන්ව පවතින ඉතිරි බස් රථ ප්‍රමාණයද මාස කිහිපයක් ඇතුළත පුනරුත්ථාපනය කර ධාවන තත්ත්වයට පත් කළ හැකි බව මා විශ්වාස කරනවා. ඒ තුළින් අධිවේගී මාර්ග තුළ ලංගමට ධාවනය කළ හැකි මුළු බස් රථ ප්‍රමාණයම ධාවනය යෙදවීම තුලින් මේ වසර තුරුම ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇති. ඒ සඳහා අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතන මගින් ලැබෙන දායකත්වයද විශේෂයෙන් අගය කළ යුතු වනවා."

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයේ අධීක්ෂණ නිලධාරී ඉංජිනේරු කුෂාන් වෑගොඩපොල මහතා,රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා ඇතුළු නිලධාරීන්, ලංගම කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.