FB IMG 1705984383524

"දේශපාලනඥයින් විසින් කවර ප්‍රකාශ සිදු කළත් රජයක් පවත්වාගත යුතු වන්නේ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙමිනුයි."

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ කලක් සේවයේ නිරතව සිට විවිධ හේතූන් මත සේවයට වාර්තා නොකිරීම ඇතුළු හේතූන් මත සේවය අහිමි වූ කාර්ය මණ්ඩල සමාජිකයින් පිරිසක් ඉදිරිපත් කරන ලද අභියාචනා පරීක්ෂා කිරීමෙන් අනතුරුව තෝරාගත් පිරිසක්‌ නැවත සේවයේ පිහිටුවීම සහ නවක රියදුරු සහ කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ප්‍රදානය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිනි.

මෙහිදී පත්වීම්ලාභීන් අමතා අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" පවතින ආර්ථික අභියෝගකාරී තත්ත්වය හමුවේ තවත් වසර තුනක් දක්වා රාජ්‍ය සේවයෙහි කිසිදු බඳවා ගැනීමක් සිදු වන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන මූල්‍ය එකඟතාවයන් වලට අනුව නව බඳවා ගැනීම් සිදුකර එම පිරිස් වෙත වැටුප් ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් පොදු ප්‍රවාහනය වෙත ලබාදිය යුතු අනිවාර්ය ප්‍රමුඛතාවය පිළිබඳ සැලකිල්ල යොමු කරමින් විශේෂ අනුමැතියක් මත අත්‍යවශ්‍ය රියදුරු සහ කොන්දොස්තරවරුන් පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිවුණා.පාසල් දරුවන් රාජ්‍ය සේවකයින් ඇතුළු ජනතාවගෙන් වැඩි පිරිසකගේ ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ වන්නේ ලංකා ගමනාගමන මණ්ඩලය මගින්. පාසල් සිසුන් වැඩි ප්‍රමාණයක් මාසික වාර ප්‍රවේශ පත්‍ර මගින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් මේ වසරේ වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් බිලියන 20ක්‌ අවශ්‍ය වන බවට ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නමුත් මේ වනවිට වෙන්කර තිබෙන්නේ බිලියන 10ක්‌ පමණයි. එම නිසා පාර්ලිමේන්තුවෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඉතිරි මුදල වෙන්කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එමෙන්ම පාසල් 5331කට සිසු සැරිය බස් රථ සේවාව මගින් ප්‍රවාහන පහසුකම් සලසනු ලබනවා. දෛනිකව රාජ්‍ය සේවයට පැමිණෙන පිරිසට ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍යයි.

මෙම කරුණු සියල්ලක් පිළිබඳ සලකා බලමින් අප මෙම අමාත්‍යංශයේ වගකීම බාර ගැනීමෙන් අනතුරුව දේශපාලන හිතවත්කම් වලින් තොරව ක්ෂේත්‍රය පිළිබඳ මනා පලපුරුද්දක් සහිත ඉංජිනේරුවරයකු එහි සභාපති ධුරයට පත් කරනු ලැබුවා. හොරකම, වංචාව, දූෂණය, අක්‍රමිකතා ආදිය නතර කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මූල්‍ය වංචා සම්බන්ධව වැරදිකරුවන් වන ඕනෑම කෙනෙකුට රැකියාව අහිමි වෙනවා. මේ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ඒකකයක් පිහිටුවා තිබෙනවා.
දිනකට ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු ඩිපෝවල අදායමෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් අහිමිව යනවා. මෙම තත්ත්වය මැඩපවත්වීම සඳහා තවත් මාස දෙකක් ඇතුළත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා QR ක්‍රමවේදය ඇතුළත් ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අප කටයුතු කරනවා. ඒ තුළින් ලබන ලාභයෙන් කොටසක් නැවතත් කාර්ය මණ්ඩල වෙත ප්‍රසාද දීමනා, දිරි දීමනා ලෙස ලබා දීමේ හැකියාව පවතිනවා.

පසුගිය වසරේ නව බස් රථ පන්සියයක් ධාවනයට එක් කිරීමට හැකියාව ලැබුණු අතරම මේ වසරේ තවත් බස් රථ දහසක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. මෙම වසර තුළ අනිවාර්යයෙන්ම ලංගම ලාභ ලබන ආයතනයක් බවට පත්විය යුතුයි. පවතින දුර්වලතා මඟ හරවා ගනිමින් ලංගම නැවතත් ගෞරවාන්විත ආයතනයක් ලෙසින් ගොඩනගන්නට සියලු දෙනා කැපවිය යුතුයි. කවර හෝ රැකියාවක් අවංකව සිදු කිරීම තුළින් රැකියාව තුළ අභිමානයක් මෙන්ම ඇගයීමක්ද සිදුවනවා.

රට තුළ පවතින තත්ත්වය පිළිබඳව දේශපාලනඥයින් විසින් කවර ප්‍රකාශ සිදු කළත් රජයක් පවත්වාගත යුතු වන්නේ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙමිනුයි. ජාත්‍යන්තර වශයෙන් එළැඹී ඇති ගිවිසුම් එකඟතා ප්‍රකාරව කවර රජයක් වුවත් කටයුතු කිරීම අවශ්‍යයි. එම නිසා මෙම අපහසු අවස්ථාවේ සැමට පැවරෙන වගකීම නිසි අයුරින් ඉටු කිරීම සඳහා සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතුයි."

මෙම අවස්ථාව සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා ඇතුළු ලංගම කාර්ය මණ්ඩලයේ නිලධාරීන්, පත්වීම් ලාභීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.