A5A0013 copyරියදුරු බලපත්‍ර දීර්ඝ කිරීම සඳහා යොදා ගනු ලබන සුහුරු කාඩ්පත් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර ඇතත් මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත තවමත් නොලැබීම හේතුවෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ යම් ප්‍රමාද දෝෂයක් සිදුව ඇත. මෙම හේතුව නිසා දැනට භාවිතා කරනු ලබන රියදුරු බලපත්‍ර වල කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව 2022 අප්‍රේල් මස 01 දින සිට ජුනි 30 දක්වා කාලය තුළ කල් ඉකුත් වීමට නියමිත රියදුරු බලපත්‍ර වල කාලය කල් ඉකුත් වන දිනයේ සිට මාස 06 කින් දීර්ඝ කරනු ලැබේ.
2022 ජූලි 01 දින සිට 2022 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ කල් ඉකුත් වීමට නියමිත රියදුරු බලපත්‍ර වල කාලය කල් ඉකුත් වන දිනයේ සිට මාස 03 කින් දීර්ඝ කිරීමටත් පියවර ගෙන ඇත.
එමෙන්ම දැනට නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර සඳහා වසරක කාලයක් සඳහා නව තාවකාලික බලපත්‍රයක් නිකුත් කිරීමට ද කටයුතු කෙරේ. නව රියදුරු බලපත්‍රලාභීන් සඳහා ද තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන අතර සුහුරු කාඩ්පත් ලැබුණ වහාම මාස කිහිපයක් ඇතුළත අදාල බලපත්‍ර නිකුත් කර ඉල්ලුම්කරුවන්ගේ නිවෙස් වෙතම තැපැල් මඟින් එවීමට ද කටයුතු කරන බව ද තාවකාලිකව නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර ආරක්ෂණ ක්‍රමවේදයක් යටතේ සකස් කර ඇති අතර එම බලපත්‍ර පරීක්ෂා කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත වෙනම යෙදවුමක් (AAP) ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා 2022-03-09 ප්‍රවාහන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.