3A5A3010

කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල දිනෙන් දින ඉහල යන මාර්ග තදබදයට සහ මගී ජනතාවගේ ගමන් පහසුකම් සපුරාලීම සඳහා ලබාදිය හැකි ලාභදායී, පරිසර හිතකාමී හා තිරසාර විසඳුම ලෙස දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය කල යුතු බවට වන රජයේ තීරණයට අනුව ප්‍රවාහන අමාත්‍යංශය හා ශ්‍රි ලංකා දුම්රිය සේවය එක්ව කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රි ලංකා දුම්රිය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මූල්‍ය දායකත්වය ලබාදීමට ඉදිරිපත් වී තිබේ.

හයිලෙවල්, ලෝලෙවල් හා හොරණ මාර්ග පථයන් ඔස්සේ කොළඹ නගරයට පිවිසීමේදී වර්තමානයේ ඇති වී ඇති වාහන තදබදයට කාලීන හා තිරසාර විසඳුමක් ලබාදීම කඩිනම් කිරීම සඳහා කැළණිවැලි දුම්රිය මාර්ගය හැකි ඉක්මණින් සංවර්ධනය කලයුතුය යන රජයේ තීරණ අනුව කැළණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටසෙහි ශක්‍යත අධ්‍යයනය සහ සවිස්තරාත්මක ඉංජිනේරුමය සැලසුම් මේවන විට සකස් කොට අවසන්ව ඇත.

විවිධ වූ සමාජයීය, ආර්ථික, පාරිසරික හා තාක්ෂණික කරුණු ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව තව දශක කිහිපයක මගී ඉල්ලුමට සරිලන ලෙස කාර්ය බහුල වේලාවන් වලදී විනාඩි 7කට පමණ වරක් විදුලි දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇත. මරදාන සිට මාලපල්ල දක්වා මෙම දුම්රිය මාර්ගය කණු මත දිවෙන ද්විත්ව විදුලි දුම්රිය මාර්ගයක් ලෙස ඉදි කිරීමට තීරණය කර ඇත.

මෙහිදී අනෙක් සුවිශේෂීම කරුණ වන්නේ මරදාන සිට පාදුක්ක දක්වා කොටසෙහි දුම්රිය රක්ෂිතය තුල අනාරක්ෂිත ලෙස පදිංචි වී සිටින පුද්ගලයින් ජීවත් වීමට නුසුදුසු එම පරිසරයෙන් ඉවත් කොට වඩාත් ආරක්ෂිත සුවපහසු නිවාස තුළ නැවත පදිංචි කිරීම තුළින් ඔවුනට ඉහළ ජීවන මට්ටමක් ලගා කර ගැනීමට අවශ්යස ඉඩ ප්‍රස්ථාව වෙනුවෙන් නව නිවාසවල ස්ථිර හිමිකම ලබා දීමයි. තවද මෙම ක්‍රියාදාමය තුළින් යෝජිත සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය ඉඩකඩ විවර වනවා මෙන්ම කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතය තුල ඇති ඉතා ඉහල වාණිජ වටිනාකමක් ඇති භූමිය, වෙනත් තිරසාර සංවර්ධන කාර්යයන් සඳහා භාවිතා කිරීමේ ඉඩප්‍රස්ථාව ද හිමි වේ.

ඒ අනුව ඔවුන් නැවත පදිංචි කරවීම සඳහා අවශ්‍ය නිවාස 1244ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ලබා ගැනීම සඳහා දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුම් ගතව ඇති අතර එහි පළමු නිවාස 384කින් යුත් මහල් නිවාස මාලිගාවත්ත ‘ලක්හිරු සෙවණ‘ නිවාස සංකීර්ණයෙන් දැනටමත් ව්‍යාපෘතිය වෙත ලබා දී ඇත.

මෙම නිවාස 384 පදිංචි කිරීම සඳහා එයට ආසන්නතම කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ ලොකෝ මංසන්ධියේ සිට සීවලීපුර පාසල් පටුමග දක්වා කොටසෙහි පදිංචි නිවාස ඒකක 261ක පදිංචිකරුවන් පිරිසක් තෝරා ගෙන ඇති අතර ඔවුන්ගේ 2වන කණ්ඩායම ලෙස නිවාස ඒකක 110ක පුද්ගලයින් සඳහා නව නිවාසවල යතුරු භාරදීම ප්‍රවාහන අමාත්‍ය ගරු ගාමිණී ලොකුගේ මැතිතුමාගේ හා වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර්රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 2020.09.29 වැනි දින සිදු විය.

මේ යටතේ දීර්ඝ කාලයක් කැළණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ අනවසරයෙන් පදිංචි වී සිටි හරියාකාරව නිවසක් නොමැතිව සිටි ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සහිත, සුවපහසු පරිසරයක පිහිටි මහල් නිවාසයක ස්ථිර හිමිකම් ලැබේ. එමගින් එම ජනතාවට හා ඔවුන්ගේ දරු පවුල්වලට විශාල සහනයක් වූ බව එම ජනතාවගේ අදහසයි.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ පාලිත සමරසිංහ, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ (නිවාස)ඊ.ඒ.සී.ප්‍රියශාන්ත යන මහත්වරුන් ප්‍රමුඛ ප්‍රවාහන අමාත්‍යංශයේ ජේෂ්ඨ නිලධාරීන් ද නව නිවාසලාභීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගී වුහ