3A5A6383

ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira SUGIYAMA) මැතිතුමා හා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමන් අතර හමුවක් 2020.09.08 දින බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි ප්‍රවාහන අමාත්‍යාශයේදී සිදුවිය.

දශක 07කට වඩා පැරණි ශ්‍රි ලංකාව හා ජපානය අතර පවතින රාජ්ය තාන්ත්‍රික සබඳතා මෙන්ම ආගමික, සමාජ, සංස්කෘතික හා ආර්ථික යන සියලු අංශවල මිත්‍රත්වය වර්ධනය කිරීම කෙරෙහි ජපාන රජයේ ඇප කැපවීම පිළිබඳව ජපාන තානාපතිතුමන් විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
පසුගිය රජය කාලයේ ජපාන ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන් හා කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසුව ඒ පිළිබඳව රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් ජපාන රජය දැනුවත් කිරීමට කටයුතු යොදන බව අමාත්‍යතුමන් විසින් පෙන්වා දෙන ලදී.

ශ්‍රි ලංකාවේ විවිධ සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය මගින් දක්වන උපකාර කෙරෙහි විශේෂ ස්තූතියද අමාත්‍යතුමන් විසින් ජපාන තානාපාතිතුමන් වෙත පල කරන ලදී.
ශ්‍රි ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ජපාන රජයෙන් සහය අපේක්ෂා කරන බවද පැවසූ අමාත්‍යවරයා, ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ජපාන රජයේ ඇප කැපවීම ප්‍රශංසාවට ලක් කළේය.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාශයේ ලේකම් මොන්ටි රණතුංග මැතිතුමා, නියෝජ්‍ය ජපාන තානාපති කිටමුරා ටොෂිහිරෝ (KITAMURA Toshihiro) මැතිතුමා, ජපාන තානාපති කාර්යාලයේ දෙවන ලේකම් කෙන්ත යසුනග (Kenta YASUNAGA) මැතිතුමා හා ජපාන තානාපති කාර්යාලයේ මහජන සම්බන්ධතා හා සංස්කෘතික කටයුතු පිළිබඳ තෙවන ලේකම් කවකාමි අෂුසා (KAWAKAMI Azusa) මෙනවිය යන මහත්ම මහත්මීන්ද සහභාගී වුහ.