දැක්ම

සෑම සුක්කානමක් පිටුපසම නිරෝගිමත් රියදුරකු හිඳුවීම.

මෙහෙවර

ශ්‍රී ලංකාව තුළ ප්‍රවාහන වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙමින් සියළුම රියදුරු බලපත්‍ර අපේක්ෂකයන්ට අධ්‍යාත්මික හා ගුණාත්මක වෛද්‍ය පරීක්ෂණ සිදුකර ශාරීරික හා මානසික යෝග්‍යතාවය පිළිබඳ සහතික කිරීම.

හැඳින්වීම

සීමාසහිත සවුත් වෙස්ටර්න් බස් සමාගමට අයත්ව, එහි සේවක සේවිකාවන් හට වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස රත්මලාන ඩිපෝ පරිශ්‍රයේ පිහිටුවා තිබූ මෙම ආයතනය 1958 බස් සමාගම් ජනසතු කිරීමත් සමඟම ලංකා ගමනාගමන මණ්ඩලය සතු විය. බස් ජන සතුවෙන් පසුව “ලංගම වෛද්‍ය කොට්ඨාශය” නමින් මෙය හඳුන්වන ලදි. සේවා පුළුල් කිරීමේ අරමුණින් රත්මලාන ඩිපෝ පරිශ්‍රය තුළ පිහිටුවා තිබූ වෛද්‍ය මධ්‍යස්ථානය, 1970 වර්ෂයේදී ලංගම සතුව තිබූ නුගේගොඩ, හයිලෙවල් පාර, අංක : 170 දරණ ස්ථානයට ගෙන එන ලද අතර, වර්තමානයේ “ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය” යන නමින් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ස්වයං ආදායම් උත්පාදන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනයක් වශයෙන් 1997 අංක 25 දරණ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන පනත අනුව ක්‍රියාත්මක වේ. ආයතනයේ මූලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා, ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල විසිපහක් (25) දිවයින පුරා ස්ථාපිත කර ඇත.

ආයතනයේ ඉදිරි දැක්මට අනුගත වෙමින් ශ්‍රී ලංකාව තුළ සිටින බර වාහන මෙන්ම සැහැල්ලු වාහන රියදුරන්ගේ සෞඛ්‍යමය තත්ත්වය පිළිබඳව උසස් හා ගුණාත්මක වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර, ඒ අනුව වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල මගින් අවශ්‍ය සේවා සම්පාදනය කර, ආයතනයේ ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කරමින් සිටී.

පරමාර්ථ

  • සියළුම රියදුරු බලපත්‍ර අයදුම්කරුවන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාවය පරීක්ෂා කර බැලීම.
  • නිකුත් කරනු ලබන වෛද්‍ය සහතිකයේ ගුණාත්මක බව හා ආරක්ෂක උපක්‍රම ‍වර්ධනය කිරීම.
  • මනා මානව සම්පත් කළමනාකරණය තුළින් සේවාවේ ගුණාත්මක බව ළඟා කර ගැනීම.

ආයතනයේ කාර්යයන්

  • බරවාහන ඇතුළු සියළු වර්ගවල මෝටර් වාහන පදවන හෝ ධාවනය කරන රියදුරන්ට සහ ධාවකයන්ට වෛද්‍ය සේවා සැලසීම.
  • බරවාහන ඇතුළු සියළු වර්ගවල මෝටර් වාහනවල රියදුරන් හා ධාවකයන් පරීක්ෂා කර ඒ රියදුරන්ට හා ධාවකයන්ට ශාරීරික හා මානසික යෝග්‍යතාව පිළිබඳ සහතික ලබාදීම.
  • බරවාහන ඇතුළු සියළු වර්ගවල වාහනවල රියදුරන් හා ධාවකයන් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය කර ඔවුන්ගේ සුදුසුකම සහ යෝග්‍යතාව පිළිබඳ නිර්දේශ ලබාදීම.
  • කවර හෝ වර්ගයක මෝටර් වාහනවලට අදාළ අනතුරු හා සම්බන්ධ අවස්ථාවලදී වෛද්‍ය සේවා සැලසීම.
  • සියළු වර්ගවලට අයත් මෝටර් වාහන, ශාරීරිකව හා මානසික යෝග්‍ය හා ප්‍රවීණ තැනැත්තන් විසින් පමණක් ධාවනය කරනු ලබන හෝ පදවනු ලබන බවට, ආයතනය විසින්ම හෝ වෙනත් නියෝජිත ආයතන වලින් විමසා කටයුතු කිරීමට වගබලා ගැනීම.
  • කාර්මික ස්වස්ථතාව සහ කාර්මික අනතුරු පිළිබඳව වෛද්‍ය උපදෙස් හා නිර්දේශ ලබාදීම.
  • අදාළ ක්‍රියාත්මක කිරීමේ බලධරයන් විසින් පිළිගත යුතු හා ක්‍රියාත්මක කළ යුතු ප්‍රවාහන වෛද්‍ය කටයුතුවලට ප්‍රමිති සකස් කිරීම හා සීමා නියම කිරීම.

 

 

නවතම පුවත්